SPERA ආයතනය, දකුණු ආසියාවේ ප්‍රථම, ආරක්ෂක Humanoid රොබෝ ආකෘතිය එළිදක්වයි

Spera unveiled Spera Humanoid - Prototype One
ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයේද තාක්ෂණික ප්‍රගතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 'Spera ආයතනය විසින් ආරක්ෂක සේවාවන් සඳහාම සැලසුම් කරන ලද හියුමනොයිඩ් රොබෝ, 'Spera Humanoid - Prototype One', එළිදක්වන ලදී. එම ආයතනයේ නව වැනි සංවත්සරය නිමිත්තෙන් හඳුන්වාදෙන ලද මෙය, මිනිස් ස්වරූපය හා සැබෑ පරිමාණය රැගත් සුවිශේෂී රොබෝ ආකෘතියකි.
මෙලෙස එළිදක්වන ලද Spera Humanoid ජාත්‍යන්තර වෙළෙඳ පොළ අරමුණු කර ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ ආරක්ෂක platform එකක් වන අතර, එහි තාක්ෂණික පද්ධතියද මුළුමනින්ම දේශීය ඉංජිනේරු නිපුණතාවය විදහා දක්වන්නකි. ඒ අනුව මෙය, විදේශයක නිම කරන ලද හෝ විදෙස් තාක්ෂණ හැකියාවන් සමඟින් මෙරටදී එකලස් කරන රොබෝවරුන් මෙන් නොව, මූලික සැලසුමේ පටන්ම, Spera ආයතනයේ පර්යේෂණ සහ මෙරට ඉංජිනේරු හැකියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් බිහිවුණු සුවිශේෂී ශ්‍රී ලාංකික නිමැවුමකි.
ස්වෝත්සාහයෙන් ඉංජිනේරු විද්‍යාව ප්‍රගුණ කළ, ස්වාධීන ව්‍යවසායකයෙක් වන Spera ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සහන් යාපා මහතා කුඩා කල පටන්ම, යන්ත්‍රෝපකරණ නිර්මාණය කිරීම පිළිබඳව දැඩි ඇල්මක් දැක්වූ අයෙකි. ඒ අනුව, මෘදුකාංග සංවර්ධනය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව සහ රොබෝ තාක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳව ප්‍රගුණ කළ ඔහුගේ විශ්වාසය වුයේ, ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයන් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවයි.
පසුගියදා හඳුන්වාදුන් සාර්ථක Humanoid රොබෝ ආකෘතිය, වසර ගණනාවක් පුරා යාපා මහතාත්, ඔහුගේ කණ්ඩායමත් විසින් සිදුකරන ලද අසාර්ථක වූ අත්හදා බැලීම්, මූලාකෘති මෙන්ම මූල්‍ය බාධක රැසක් සාර්ථකව ජයගැනීමේ ප්‍රතිඵලයකි. සුවිශාල බාහිර ආයෝජනවලින් තොරව, මෙම රොබෝ නිර්මාණය සාර්ථකව නිමකිරීමේ අරමුණෙන්, ජාත්‍යන්තර සේවාදායකයින් වෙත Blockchain, Industry 4.0 සහ නවතම තාක්ෂණික විසඳුම් පිරිනමන මෘදුකාංග සමාගමක් ගොඩනැගීමටද ඔහු විසින් පියවර ගැණිනි.
මෘදුකාංග ව්‍යාපාරයේ ආදායම මෙන්ම එමඟින් ලද තාක්ෂණික අත්දැකීම් Humanoid රොබෝ තාක්ෂණය උදෙසා යළි ආයෝජනය කරන ලදුව, ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් කණ්ඩායමකගේ වසර ගණනක කැපවීම මල්ඵල දරමින් මෙම ක්‍රියාකාරී රොබෝ ආකෘතිය සාර්ථකව නිමවන ලදී.
Spera ආයතනය පවසන ආකාරයට, ලොව වඩාත් අවදානම් කලාපයන්හි ආරක්ෂක සේවාවන්ට අදාළ කටයුතු සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉහළ අවධානය දිනා ඇති මෙම රොබෝ, ඉදිරියේදී වාණිජ මට්ටමෙන් රටවල් කිහිපයකටම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, මෙම platform එක තවදුරටත් පුළුල් කරමින් දෙවැනි රොබෝ අනුවාදය, 'Spera 2.0' හඳුන්වාදීමටද, Spera කටයුතු සූදානම් කරමින් සිටී.
“මෙම Humanoid රොබෝ, සුවිශාල දැක්මක් හා සිහිනයක් සමඟින් වගේම, ශ්‍රී ලාංකීය ඉංජිනේරු ශීල්පීන්ට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයක් මුළුමනින්ම බිහිකළ හැකියි කියන දැඩි විශ්වාසය මත කළ නිර්මාණයක්.” යනුවෙන් යාපා මහතා පැවසීය. “වාර ගණනාවක් අසාර්ථක වුණත් අපි, උත්සාහය අත්හැරියේ නැහැ. අද, තාක්ෂණික ලෝකයේ සැබෑ ශ්‍රී ලාංකීය හැකියාව කුමක්දැයි ලෝකයට පෙන්වන්න අපි සූදානම්. ඩොලර් ට්‍රිලියන 5ක වටිනාකමකින් යුතු නවතම Humanoid රොබෝ තාක්ෂණ වෙළෙඳ පොළට පිවිසීමට අපි අද ශ්‍රී ලංකාවට මඟ විවර කර තිබෙනවා.”
මෙම එළිදැක්වීම, යාපා මහතා කුඩා අවදියේ පටන් යන්ත්‍ර සූත්‍ර කෙරෙහි පැවති දැඩි ඇල්ම, දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක Humanoid රොබෝවරයා බිහි කිරීම දක්වා වර්ධනය කළ අපූරු ගමනක් වූ බැවින්, එය ඔහුගේ පෞද්ගලික ජීවිතයේද සුවිශේෂී ජයග්‍රහණයක් බවට පත් වේ. මෙම ජයග්‍රහණයත් සමඟින් නව පරිච්ඡේදයකට පා තබන Spera ආයතනයේ පැහැදිලි අභිප්‍රාය නම්, ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ශිල්පීය හැකියාව සමඟින්, සමස්ත ලෝකය උදෙසා තාක්ෂණය දායාද කිරීමයි.
