දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර සහ බදුල්ලේ දරුවන් 80කට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ශක්තිය

Tokyo Cement Group has stepped forward to support the educational journeys of children impacted by the disaster in Kandy and Badulla Districts.
දිවයින පුරා මිලියන ගණනාවක් ජන ජීවිත උඩුයටිකුරු කල දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මව, පියා හෝ දෙමව්පියන් දෙදෙනාම අහිමිවූ, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙනයාම සඳහා සහාය වීමට ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරය ඉදිරිපත් වී ඇත.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට තම ජීවිත යළි ගොඩනඟා ගැනීමට සහාය වන ලෙස රජය විසින් ආයතනික ප්‍රජාවගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 18ට අඩු, දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වූ දරුවන් 80 දෙනෙකු වෙනුවෙන් සිය මූල්‍යමය දායකත්වය සපයයි. මෙම දරුවන්ට බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දීමේ අරමුණින්, 2026 ජූලි මාසයේ සිට වසර තුනක කාලයක් සඳහා එක් දරුවෙකුට රු. 5,000ක මාසික අධ්‍යාපනික දීමනාවක් ලබා දීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන තුලින් දැනට සිය භාරකරුවන්ගේ රැකවරණය යටතේ ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන් 48 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයේ දරුවන් 32 දෙනෙකු ආවරණය වන අතර, ඔවුන්ගේ සුබසාධන කටයුතු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ළමා ආරක්ෂණ සේවා බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෙම මාසික දීමනාව දරුවන්ගේ රැකවරණය සඳහා පත්කර සිටින භාරකරුවන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීම 2026 ජූලි මාසයේ සිට ආරම්භ කරන ලදී. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැයවන මූල්‍යමය බර යම්තාක් දුරට ලිහිල් කරවීම උදෙසා ලබාදෙන මෙම මාසික දීමනාවේ ප්‍රමුඛතම අරමුණ වන්නේ, තමන් මුහුණ පෑ ඛේදවාචකය බාධාවක් කරනොගෙන, සිය අධ්‍යාපනික සහ පෞරුෂ වර්ධන කඩඉම් ජයගනිමින්, යහපත් අනාගතයක් හිමි රටට වැඩදායි පුරවැසියන් ලෙස ගොඩනැඟීමට සිය දෙමව්පියන් දුටු සිහින සැබෑකරගැනීමට මෙම දරුවන්ට මේ මොහොතේ අත්‍යවශ්‍යම පදනමක් සපයාදීමයි.
මෙම මාසික අධ්‍යාපන දීමනා වැඩසටහන දියත්කිරීම සනිටුහන් කිරීමේ චාම් උත්සව දෙකක් ප්‍රතිලාභී දරුවන් සහ එම භාරකරුවන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් නොබෝදා මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවලදී පැවැත්විණි. ඉන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති උත්සවයට දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් සහභාගී වූ අතර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති උත්සවයට පරිපාලන නිලධාරීනී පූර්නිමා බස්නායක, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනී රේණුකා යන මහත්මීන්, ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික තිරසාරභාවය පිළිබඳ කළමනාකරු සාලින්ද කඳපොල මහතා, ව්‍යාපෘති සම්බන්ධිකාරක මංජුල පියසේන මහතා සහ ප්‍රතිලාභී දරුවන් පිරිසක් සහභාගි වූහ.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙම දූරදර්ශී මැදිහත්වීම දිත්වා ආපදාවෙන් අසරණභාවයට පත්වූදරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවස්ථාවකදී ඔවුන්ට ලබා දෙන මූල්‍ය ආධාරයකට එහා ගිය වැඩපිළිවෙලකි. දුෂ්කරතා ජයගෙන අනාගතය එළිපෙහෙලි කර ගැනීමට දරුවෙකුට ඇති ශක්තිමත්ම අඩිතාලම වන්නේ අධ්‍යාපනය බවට එම සමූහය දරන විශ්වාසය මෙම වසර තුනක කැපවීම මගින් මනාව පිළිබිඹු කෙරේ. දිත්වා සුළි කුණාටුව නිසා මෙම දරුවන්ට අහිමි වූ දේ වෙනුවට කිසිදු ආධාරයක් ආදේශ කළ නොහැකි වුවද, සහයෝගීතාවයේ මෙම කුඩා පියවර හරහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දිරිගැන්වීම සහ විශ්වාසය ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ බලාපොරොත්තු වන අතර එමගින් ඔවුන්ගේ සිහින හා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ව සවිබල ගැන්වීම ද සමාගමේ අපේක්ෂාවයි.


















